Header Ads

Header ADS

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ මහතා අද(2023/09/25) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ මහතා අද(2023/09/25) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්
ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය මල්ඵල දරන්නට පටන් අරන් තිබෙනවා. විශේෂයෙන්ම ලෝකයේ එය පැසසුමට ලක්වෙලා, ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ සහයෝගය එතුමාට ලැබෙමින් පවතින බව පෙනී යනවා. චීනයේ මූලිකත්වයෙන් තිබුණු කියුබානු සමුළුවේදී ජනාධිපතිවරයාට ආරාධිත දේශනයක් හිමිවෙලා තිබුණා. කියුබාව කියන්නේ සමාජවාදය මූලික කරගනිමින් ක්‍රියාත්මක වෙන රාජ්‍යයක්. ඇමරිකාව අසල ම ඉඳගෙන ඇමරිකානු මතවාදයට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍යයක්. එවැනි සමුළුවක ආරාධිත දේශනයක් කිරීමට ජනාධිපතිවරයාට ඉඩප්‍රස්ථාව හිමිවුණා. ජනාධිපතිවරයා එහිදී කිසිවෙකුට ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක වැදගත්කම අවධාරණය කළා. ඒ වාගේම එම රාජ්‍ය නායක සමුළුවේ ඡායාරූපයේ හරි මැදක එතුමා ස්ථානගත වෙලා තිබුණා. සාමාන්‍යයෙන් එවැනි ඡායාරූප වලදී මැද්දට ස්ථානගත වෙන්නේ ජේෂ්ඨ සාමාජිකයෙක් හෝ ඉතාම වැදගත් සාමාජිකයෙක් කියන එක අපි දන්න කාරණයක්. රාජතාන්ත්‍රික සාකච්ඡාවලදී මැලේසියානු රාජ්‍ය නායකයා විසින් මැලේසියාවේ සංචාරය කරන ලෙස ජනාධිපතිතුමාට ආරාධනා කර තිබෙනවා. ඒ වගේම කොරියානු රාජ්‍ය නායකයා සමඟ පැවතුණු විශේෂ සාකච්ඡාවේදී රැකියා අවස්ථා පිළිබඳ විශේෂ වැදගත්කමක් සහිතව සාකච්ජා පැවතුනා. ශ්‍රී ලංකාවට කොරියානු රැකියාලබා දීමේදී ප්‍රමුඛස්ථානය ලබා දීමට එකඟත්වය පළ වෙලා තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා ජර්මනියට ගිහිල්ලා එහිදී ප්‍රධාන දේශනයක් පවත්වනවා. ඒ වගේම යුරෝපා රටවලට ප්‍රධානීන් සහ ජර්මන් චාන්සලර්වරිය මුණ ගැනීමට එතුමාට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඇමරිකානු මාධ්‍යවේදියෙක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී එතුමාගෙන් අහන ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට මම ඇමරිකානු හිතවාදියෙක් වත්, චීන හිතවාදියෙක් වත්, ඉන්දියානු හිතවාදියෙක්වත් නෙමයි. මගේ පක්ෂපාතීත්වය තිබෙන්නේ ශ්‍රී ලංකාවට කියන ප්‍රකාශය ලෝකයේම අවධානය දිනා ගෙන තිබෙනවා. පසුගිය දවස් වල පපුවට ගහගෙන වේදිකා මත්තේ හඬ තලපු නායකයින්ට වඩා ඇමරිකාවට ගිහිල්ල එවැනි ප්‍රකාශයක් සිදු කිරීමට හැකියාව තිබීම එතුමාගේ ශ්‍රී ලාංකිකත්වය මනාව පිළිඹිඹු කරන ලක්ෂණයක් කියන එක සඳහන් කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමේ දක්ෂතාවය නිසා තමයි මෙවැනි තත්ත්වයක් ලෝකය තුළ ඇතිවෙලා වෙලා තිබෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රයේ එවැනි ගෝලීය නායකයන් සහ ගෝලීය සබඳතා වර්ධනය කර ගත හැකි පවත්වාගෙන යා හැකි නායකයෙක් මේ මොහොතේ සොයා ගැනීමට නැහැ. මේ දිනවල විපක්ෂයේ අලුත් බිල්ලෙක් නිර්මාණය කරමින් එනවා. සමාජ ජාල සහ මාර්ගගත ක්‍රමවේදයන්ගේ මත ප්‍රකාශ කිරීම මැඩ පවත්වන්න රජය උත්සාහ කරනවා කියලා. එය අසත්‍ය ප්‍රකාශයක් කියන එක සඳහන් කළ යුතුයි. එහෙම කිරීමට ජනාධිපතිවරයාගෙවත් රජයේවත් කිසිදු අදහසක් නැහැ. සටන්පාඨ අහිමි වීමත් එක්ක සජිත් ප්‍රේමදාස කොරහේ කිඹුල්ලු පෙන්නන ස්වරූපයක් අපට පෙන්නේනට තිබෙනවා. මේ ලෝකයේ අද තියෙන තත්ත්වයත් එක්ක අපිට ෆේස්බුක් නියාමනය කරන්නට බෑ. යූටියුබ් නියාමනය කරන්නට බෑ. මාර්ගගත ක්‍රමවේද අපිට පාලනය කිරීම සහ නවත්වන්නට කිසිලෙසකින් බැහැ. නමුත් රටට සමාජ ජාලාවල ක්‍රියා කිරීම වෙනුවෙන් යම් ප්‍රතිපත්ති මාලාවක් සකස් කරගත යුතු වෙනවා. උදාහරණයක් විදිහට අපේ දරුවෙක් අතුරුදහන් වූවත්, සමාජ මාධ්‍ය තුළින් ඉතා ඉක්මනින් ඒ සම්බන්ධව කටයුතු කරලා ඒ දරුවා හොයාගන්න උදව් කරනවා. ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. නමුත් ජාතිවාදය පතුරන ප්‍රවෘත්තියක් සමාජජාල තුලින් ප්‍රචාර වීමත් එක්ක ඒක රටේ බරපතළ ප්‍රශ්නයක් බවට පත්වීමේ හැකියාව තිබෙනවා. එනිසා මේ හොඳ නරක දෙකෙන් හොඳ තෝරාගැනීම සඳහා අපිට යම්කිසි නීති රාමුවක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව මේ පනතත් එක්ක රජයට විරුද්ධ වෙන හෝ ප්‍රතිපත්තිවලට විරුද්ධව කෙනෙකුට විරුද්ධව කිසිදු දෙයක් සිදු වන්නේ නැහැ. සිදු කිරීමටත් බැහැ. නමුත් පෞද්ගලිකව යම් කෙනෙකුට හානිකර විය හැකි ප්‍රවෘත්ති පතුරන අයට විරුද්ධව යම්කිසි පාලනයක් සිදු කළ හැකි, තීරණයක් ගත හැකි ස්වරූපයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම රටේ නීති රාමුව තුළ අධිකරණ ක්‍රියාදාමයන් තුළ පමණයි මේ සියල්ලකින්ම පිළිසරණක් ලබා ගත හැකි වෙන්නේ කියන කාරණය මතක් කළ යුතුයි. එම නිසා ජනතාව මෙවැනි චෝදනා කරන විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ බිල්ලන් පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතු වෙනවා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සමාජ සේවා කටයුතු සිදු කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත විය යුතුයි. එය අගය කළ යුතුයි. නමුත් තමන්ගේ පක්ෂයට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? කියන එක පක්ෂයක් විදිහට හෙළිදරව් කළ යුතුයි. ඒක සමගි ජන බලවේගයට පමණක් නෙවෙයි, මේ රටේ සියලුම පක්ෂ ජනතාවට වගකියන පක්ෂ වශයෙන් තමන්ට ප්‍රතිපාදන ලැබෙන ආකාරය,මුදල් ලැබෙන ආකාරය පිළිබඳව අනිවාර්යෙන් හෙළි කළ යුතු වෙනවා. ඒ වගේම මැතිවරණයකට වියදම් වෙන මුදල් පක්ෂයකට කොහෙන්ද ලැබෙන්නේ, කොතන ප්‍රමාණයක් වියදම් කළාද කියන එක රටට හෙළි කළ යුතුයි. දැන් ඒ වගේ චෝදනාවක් ජනතා විමුක්ති පෙරමුණට එල්ලවෙනවා. සහරාන්ට වැඩිපුරම වියදම් කරලා තිබෙන්නේ ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ගේ පක්ෂය නම් කර තිබූ පුද්ගලයෙක් තමයි. ඒ ගැනත් සොයා බැලිය යුතු වෙනවා. පක්ෂයකට කොතරම් මුදලක් ලැබෙනවා ද? කොතරම් සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කරනවද? කියන එක සම්බන්ධව ජනතාවට විනිවිදභාවයක් තිබිය යුතුයි. අවම වශයෙන් කාර්තු වශයෙන් වත් රටට තමන්ට මුදල් ලැබෙන මාර්ග පිළිබඳව හෙළි කළ යුතුයි. පවතින මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කළ යුතු වෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට යෑම වෙනුවෙන්ම වෙනම මුදල් සොයා ගැනීමට සිද්ධ වෙනවා. ඒ නිසා මුදල් මතම තීරණය වුනු ඡන්දයක් බවට මැතිවරණ ක්‍රියාවලියය පත්වෙනවා. ඒ නිසා අපි සාකච්ඡා කර ඒ සම්බන්ධව තීරණයක් ගත යුතුව තිබෙනවා. ඒ නිසා අපි හැම දෙනාම වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීම සම්බන්ධව සද්භාවයෙන් ක්‍රියා කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ අපි සද්භාවයෙන් සමාජය වෙනුවෙන් වැඩ කරන අය කියල කිව්වට,ඔවුන් කිසි වෙලාවක වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ.

No comments

Powered by Blogger.